ඇස් නිලංකාර කරමින් බැසයන හිරු මා යන පෙරමග සිටියේය. අරුණෝදයේ හිරු තරම් සෞම්‍ය නොවූයේ මුත් බැසයන හිරු, ලස්සන නොවේදැයි මම සිතුවෙමි. බැසයන හිරු දෙස බලමින් මා එමින් සිටියේ ඒ හිරු සේම ලස්සන අවසානයක් ඇති කතාවක කතාකාරියගෙන් සමුගෙනයි. කතාවක් පටන්ගත යුත්තේ ‘එකෝමත් එක කාලෙක’ ආරෙන් වුව මම ඇගේ කතාව ‘හැමෝම සතුටින් සිටියා’ ආරෙට ගැළපෙන අවසානයෙන් පටන් ගන්නට සිතුවෙමි. ඒ වෙහෙස දරාමුත් බැසයන හිරු සේ ඇගේ කතාවේ අවසානය ද ලස්සන නිසයි. ලස්සන අවසානයක් හිමි කතාවේ අයිතිකාරිය නිලුක්ෂිකා ජයවීරයි. ආදරණීයයන්ට ඈ ‘නිලූ’ ය. සිංගප්පූරුවේ ‘ස්ට්‍රේට්ස් ටයිම්ස්’ පුවත්පතෙන් ඈට තවත් නමක් ලැබි තිබුණේය. ඒ ‘ව්‍යාපාරිකාවක වී සිංගප්පූරුව හැරගිය ගෘහ සේවිකාව’ යන්නය. ස්ට්‍රේට්ස් ටයිම්ස් ඈට දුන් ඒ නම නම් ඈට අපූරුවට ගැළපුණේය. ‘ව්‍යාපාරිකාව’ නිලුක්ෂිගේ අද දවසයි. ‘ගෘහ සේවිකාව’ ඇගේ අතීතයයි. අද දවසින්ම කතාව පටන්ගන්නට මම ඈට ඉඩ දුනිමි. “මම ගැන සිංගප්පූරුවේ ස්ට්‍රේට්ස් ටයිම්ස් පත්තරේ ගියේ මම ටෙඩෙක්ස් (TEDX) එකේ කරපු කතාව නිසා. මගේ ජීවිත කතාවත් කියමින් මම ඉගෙනීමේ වටිනාකම,කාන්තාවන්ට කළ හැකි දේවල් ගැන කතාවක් කළා. ලොකු පිරිසක් ඉස්සරහ තමයි මම ඒ කතාව කිව්වේ. ටෙඩෙක්ස් එකේ ආරාධනයක් නිසා තමයි මම ඒ කතාව කළෙත්. අද මම ව්‍යාපාරික කාන්තාවක් විදියට ගත කරන ජීවිතේ මට සතුටක් වුණත් මම ගත කරපු ජීවිතේ ගැන අහන කවුරුවත් හිතන්නේ නැහැ මේ ඒ විදියට දුක් විඳපු මම ම ද කියලා.” නිලුක්ෂිකා ඈටත් නොදැනීම අතීතයේ දොරටුවටම පැමිණ සිටියාය. අතීතය සිහිපත් වුණු තප්පරයේම ඇගේ හඬ බිඳී යනු මම අසා සිටියෙමි. මුව පුරා තිබූ සිනහව අතුරුදන් වනු මම දුටුවෙමි. “අතීතය දුකයි තමයි. ඒත් මට අතීතය අමතක නැහැ. අමතක කරන්නෙත් නැහැ.” ඈ සැදු නිහඬබව ඈම බිඳින තුරු මම බලා සිටියෙමි. නිහඬ තප්පර කිහිපයක් ඉක්බිත්තේ ඈට වචන කරන්නට දුක පිරුණු දිගු කතාවක් තිබුණේය. “මම ඉපදුණේ ගොඩක් දුප්පත් පවුලක ලොකු දුව වෙලා. කොච්චිකඩේ වැලිහේන තමයි අපේ ගම. තාත්තා දයානන්ද සිල්වා කුලී වැඩ තමයි කළේ. අම්මා පැට්ටී්‍රෂියා පෙරේරා. මල්ලිලා තුන්දෙනෙකුයි නංගි කෙනෙකුයි එක්ක අපේ ගෙදර ඔක්කොම හතයි. අම්මා රස්සාවක් කළේ නැති නිසා තාත්තා මහන්සිවෙලා හම්බ කරගෙන එන දේකින් තමයි අපි ජීවත් වුණේ. අපිට ඉන්න ගෙයක් තිබුණා. ඒකත් ලොකු ගෙයක් ‍නෙවෙයි. තාත්තා මහන්සිවෙලා වැඩ කරලා අපිට ඕන දේවල් ගෙනැත් දුන්නා. අපේ තාත්තා ටිකක් සැරයි. අපට කොහේටවත් යන්න දුන්නේ නැති තරම්. හැබැයි අපට ආදරෙයි. අපට තිබුණු කරදර තවත් වැඩිවුණේ අපේ අම්මා ලෙඩවුණාට පස්සේ. බාලම මල්ලි ඉපදුණු කාලෙ ඉඳලම අම්මා ලෙඩ වුණා. මල්ලි ඉපදුණෙත් මාස හතෙන්. අදටත් මල්ලි ටිකක් දුර්වලයි. අම්මා ලෙඩ වුණාට පස්සේ ගෙදර වැඩ කරන්න වුණෙත් මල්ලිලයි නංගිවයි බලාගන්න වුණෙත් මට. තාත්තා අම්මව සනීප කරගන්න පුළුවන් විදියට උත්සාහ කළා. අවුරුදු එකහමාරක් විතරම අම්මා මාරුවෙන් මාරුවට හිටියේ රාගම ඉස්පිරිතාලෙයි, මීගමුවෙ ඉස්පිරිතාලෙයි. අන්තිමේ චූටි මල්ලිට අවුරුදු එකහමාරක් වෙද්දී අම්මා නැතිවුණා. එතකොට මට වයස 14යි.” අම්මාගේ අඩුව පුරවන්නට නිලුක්ෂිකා අම්මා වී ඇත්තේ යොවුන් වියේ දොරකඩ සිටිද්දීය. වගකීම ඇගේ ජීවිතයට බොහෝ දේ අහිමි කරනා බව පෙනෙද්දී වුව ඈ වගකීම් කර මතට ගෙන ඇත්තීය. “මම ඉගෙනගන්න හරි ආසයි. මට ඉගෙනගන්න පුළුවන්කමත් තිබුණා. වැලිහේන ගමේ ඉස්කෝලෙට මම ගියේ. මට ඉස්කෝලෙට දාගෙන යන්න සපත්තු දෙකක්වත් තිබුණේ නැති වුණාට මම ආසාවෙන් ඉගෙනගත්තා. අම්මා ලෙඩ වුණාට පස්සේ මම ඉස්කෝලෙ ගියපු නැති දවස් ගාණ තමයි වැඩි. අම්මා නැතිවුණු දවස් වෙද්දී මම එකදිගටම මාස දෙකක් ඉස්කෝලෙ ගිහින් තිබුණෙත් නැහැ. හැබැයි ඒ අවුරුද්දේ අන්තිම විභාගෙනුත් මම පන්තියේ පහළොස්වැනියා වුණා.” ගෙදරට මවක් වූ නිලුක්ෂිට චූටි මල්ලී කතාකර ඇත්තේ ද අම්මා කියායි. වයසට ඉහලුම් නොදුන් තරම් වගකීම් දරද්දී නිලුක්ෂිකාගේ ජීවිතය වඩ වඩා ළංවී ඇත්තේ ද දුකටමය. “අම්මා නැති වුණාට පස්සේ අපි හැමෝටම එකට ඉන්න හම්බවුණේ අවුරුදු දෙකයි. දවසක් තාත්තයි, ලොකු මල්ලියි, දවෛනි මල්ලියි කොච්චිකඩේ වැවේ මාළු අල්ලන්න ගියා. තාත්තා කොහොමටත් හරි කැමැතියි කොච්චිකඩේ වැවේ බිලීබාන්න. කට්ටියම වැවට ගියේ උදේ. හවස් වෙනකල්ම ආවේ නැහැ. හවස් වෙද්දී ලොකු මල්ලි විතරක් බයිසිකලෙන් ගෙදර ආවා.” නිලුක්ෂිකාගේ කතාව මොහොතක් ගොළු විය. තාත්තාත් ‍පොඩි මල්ලීත් තමන්ට අහිමි වූ බව කියන්නට වචන එකතුකර ගන්නට ඇගේ සිත ඈට ඉඩ නොදෙන හැටියකි. කොච්චිකඩේ වැවේ ජල රකුසා ඩැහැගත් ජීවිත ගැන මතකය යළි යළි අවදි වෙයි. ඇයට අවනත නොවන උණු කඳුළු කඩා හැ‍ලේ. “ඒ වෙද්දී තාත්තගෙයි මල්ලිගෙයි මිනී තියන්නවත් තැනක් අපට තිබුණේ නැහැ. දවසක් ‍පොඩි මල්ලි ගෙනාපු සරුංගලයකට ගිනි ඇවිලිලා ගෙදර පැත්තක් පිච්චිලා තිබුණේ. හිතේ තිබුණු කලකිරීම් නිසාමද කොහෙද තාත්තා ගෙයි පිච්චුණු කෑල්ල හදාගන්න උනන්දු වුණේ නැහැ. ඒ වෙද්දී නංගිව ලොකු අම්මා ළඟට යවලා තිබුණු නිසා අපට ඉන්න යන්තම් ඉඩ තිබුණා. තාත්තගෙයි මල්ලිගෙයි මරණ තියන්න නැන්දා එයාගේ ගෙදර ඉඩ දුන්නා. ඒ හැමදේම ඉවරවුණාට පස්සේ තිබුණු ලොකුම ප්‍රශ්නෙ අපි හතර දෙනාව හදාවඩාගන්නේ කවුද කියන එක. නැන්දට වුණත් අපි හතරදෙනාවම භාරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අන්තිමේ දී නැන්දා අපි මඩම්වලට දැම්මා. මාව මීගමුවේ ගුඩ් ෂෙපර්ඩ් කොන්වන්ට් එකට, නංගිව හංවැල්‍ලේ ගුඩ් ෂෙපර්ඩ් කොන්වන්ට් එකට, එක මල්ලි කෙනෙක් මිනුවන්ගොඩ අනාථ නිවාසෙකට, අනෙක් මල්ලි මහනුවර බොස්කෝ එකට. අපි හතර දෙනා වෙන් වුණා, වෙන කරන්න දෙයක් නැතිකමට. අපි හම්බවුණේ අවුරුද්දකට එක වතාවයි. අනිත් ළමයින්ව නම් බලන්න ගෙවල්වලින් කොන්වන්ට් එකට ආවා. මාව බලන්න එන්න කවුරුවත් හිටියේ නැහැනේ. ඒ දේවල් දකිද්දි ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනුණා.” නවාතැනක් ලැබුණ ද නිලුක්ෂිකා කවදත් ආසාවෙන් සිටි ඉගෙනුමට ඈට ඉඩ නොලැබුණේය. ගෙදරට අම්මා වී සිටි නිලුක්ෂිකා දෑ අවුරුද්දක් පුරාම පාසලට නොගොස් තිබූ හේතුවෙන් ඈට අවුරුදු 18 පිරෙන තෙක් කන්‍යාරාමයෙන් ලැබුණේ හිසට සෙවණම පමණකි. කළ යුත්තේ කුමක්දැයි හරිහැටි නොදැනම කන්‍යාරාමයෙන් පිට වී ආ නිලුක්ෂිකාට තිබුණු එකම පිළිසරණ නැන්දාම පමණක් විය. “මම කොන්වන්ට් එකේ ඉඳලා ආවේ නැන්දා ළඟට. නැන්දා ළඟ වුණත් නිකම්ම ඉන්න බැරි නිසා මම නැන්දාට කිව්වා මට රස්සාවකට යන්න ඕන කියලා. හොඳ රස්සාවක් හොයාගන්න මම ඉගෙනගෙන තිබුණේ නැහැනේ. ඒ නිසා මම ගාමන්ට් එකක රස්සාවක් හොයා ගත්තා. එතැනදිත් ඉගෙනීම බැලුවා. මට තිබුණු සුදුසුකම්වල හැටියට මාව දැම්මේ නූල් කපන අංශයට. කටින් වැඩ හරි අමාරුයි. දූවිල්ල ඉවසගන්නම බැහැ. අමාරුකම් ඉවසගෙන මම අවුරුදු තුනහමාරක් විතර එතන වැඩ කළා. ඔය අතරේ රට යන්න මම උත්සාහ කරමින් හිටියේ. ඩුබායි හරි සිංගප්පූරුවට හරි යන්න තමයි මට ඕන වුණේ. වැඩි කැමැත්ත තිබුණේ ඩුබායි යන්න. ඩුබායි යන්න ‍ලේසියි කියලත් මම අහලා තිබුණා.” අහස අල්ලාගන්නට නොව ජීවිතය සරිකරගන්නට රට රස්සාවකට අත දිගු කරන්නට ඇය එසේ තීන්දු කර තිබුණි. “මට ඕන වුණේ සල්ලි ටිකක් හොයාගෙන ගේ හදාගෙන අපි හතරදෙනා එකට ඉන්න.” ඈ කියන්නීය. පුංචි කැදැල්ල යළි තනන්නට සිහින බැලූ නිලුක්ෂිකාගේ සිහිනය සැබෑ කළ ඇමතුම නම් ලැබි තිබුණේ සිංගප්පූරුවෙනි. “මාව තෝරගෙන තිබුණේ සිංගප්පූරුවේ චීන පවුලකින්. ඒ ආරංචිය දැනගත්ත වෙලාවේ මට දැනුණේ පුදුම සතුටක්. ඒ වෙද්දිත් මම ඉවසන්න අමාරු තරම් දුක් වේදනා විඳලා තිබුණේ. සිංගප්පූරුවට යන්න පුළුවන් කියලා දැනගත්ත වෙලාවේ මම හිතාගත්තා ඒ රටේ දී මොන ප්‍රශ්නෙ ආවත් මම ආයෙ එන්නේ නැහැ, කොහොම හරි වැඩ කරනවා කියලා. ඒජන්සියට සල්ලි දීලා ඔක්කොම කළාට පස්සේ මම සිංගප්පූරුවට ගියේ අතේ සතයක්වත් නැතුව. ඒජන්සියේ එක්කෙනෙක් මාව එයාර්‍පෝට එකට ඇරලුවා. සිංගප්පූරුවේ සල්ලිවලින් සත 20ක් අතට දීලා මට කිව්වා ඒ ගෙදරට කෝල් කරන්න කියලා. ඒ සත 20 විතරයි සිංගප්පූරුවට යද්දී මට තිබුණේ. ඒ කා‍ලේ මට ඉංග්‍රීසි හොඳට කතා කරන්නත් බැහැ. කියන දේවල් තේරුණාට මට ඕන දේ කියාගන්න අමාරුයි. ඒත් මගේ වාසනාවට මම වැඩ කරන්න ගියපු ගෙදර තවත් ලංකාවේ එක්කෙනෙක් හිටියා. එයා මට ගොඩක් උදව් කළා. ඒ ගෙදර චීන පවු‍ලේ හතරදෙනයි හිටියේ. වැඩ අමාරු වුණෙත් නැහැ. වැඩ නැති වෙලාවට මම ඒ ගෙදර තිබුණු ස්ට්‍රේට්ස් ටයිම්ස් පත්තරේ අරගෙන ගිහින් අකුරු අමුණ අමුණ ඉංග්‍රීසි කියෙව්වා. මට මාසෙට හම්බ වුණු එකම නිවාඩු ඉරිදා දවසට කතෝලික පල්ලියට ගියා. පල්ලියට ගිය ගමනත් මට ඉංග්‍රීසි ඉගෙනගන්න උදව් වුණා. ඇත්තටම මම හරි ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගත්තා. අවුරුදු තුනහමාරක් විතර මම ඒ චීන පවුලට වැඩ කළා. ඒ කා‍ලේ මට ගෙව්වේ රුපියල් 20,000යි. පඩි මදි නිසා මම වෙන තැනකට මාරු වුණා. හම්බුණේ ඉන්දියානු පවුලක්. ඒ අය වෙජිටේරියන්. ඒ නිසා ගෙදරට මස් මාළු ගෙනාවේවත් නැහැ. එක ඉරිදාවක් දුන්නා මසෙටම එළියට ගිහින් කැමැති කෑමක් කන්න. හැබැයි මට පල්ලි යන්න දුන්නේ නැහැ. අවුරුදු හතරක් එතන වැඩ කරලා ගිවිසුම අලුත් කරද්දී පල්ලි යන්න නිවාඩු ඉල්ලුවට මට අවසර ලැබුණේ නැහැ. ඒ නිසා මම වෙන තැනක වැඩට ගියා. ඒක ඕලන්ද පවුලක්. එතන මාස අටක් විතර වැඩ කරද්දී මට බ්‍රිතාන්‍ය පවුලකට යන්න හම්බ වුණා. ඒ අය මට රුපියල් 40,000කටත් වඩා ගෙව්වා. මට ලොකුම සතුට වුණේ ඒ අය මට හැම ඉරිදාම නිවාඩු දුන්නා පල්ලි යන්න. ඒත් ඒ ගෙදර වැඩ කරපු අවුරුදු දෙක ඉවර වෙද්දී ඒ පවු‍ලේ අය එංගලන්තෙට ගියා. මටත් වෙන ගෙයක් හොයාගන්න වුණා. ඒ මම අන්තිමට වැඩ කරන තැන වේවි කියලා නම් මම හීනෙකින්වත් හිතුවේ නැහැ.” නිලුක්ෂිකාගේ ජීවිතයට අරුණලු කැන්දවූ අලුත් පවුල ප්‍රංශ ජාතික පවුලකි. දරුවන් තිදෙනකු බලාකියා ගැනීමට ලද වගකීම ඇයට අතීතය මතක් කරවන්නට ද ඇත. “මට හම්බවුණු ප්‍රංශ පවුල ඇත්තටම මට මගේම පවුල වගේ වුණා. ඒ නෝනා ඔලීවියා මට ගොඩක් උදව් කළා. ගෙදර හිටපු පුංචිම බබා ජුලියට් මට අම්මා කියලත් කිව්වා. සමහර දාට බබාලා නිදාගත්තෙත් මගේ ළඟ. ඔලීවියා මට ගොඩක් කිට්ටු වුණා. ඔය කා‍ලේ මට හිතිලා තිබුණා හැමදාම සිංගප්පූරුවේ ඉන්න බැරි නිසා ආපහු ලංකාවට ගියපු කාලෙක වෙන රස්සාවක් කරන්න මොනවා හරි ඉගෙනගත්තොත් හොඳයි කියලා. මට හිතුණේ නර්සිං වගේ දෙයක් කරන්න. මම ඒ ගැන ඔලීවියාට කිව්වම එයා කැමැති වුණා. ඒත් ගෙදර වැඩ කරන ගමන් පාට් ටයිම් නර්සිං ඉගෙනගන්න තැනක් අපිට හොයාගන්න බැරි වුණා. පස්සේ මට ඔලීවියා තමයි අයිඩා (Aidha) ගැන කිව්වේ. එතන ඉගැන්නුවේ ඉරිදාට. මම මුලින් තෝරාගත්තේ බැ‍ලේ ඩාන්සිං. පස්සේ මම කම්පියුටර්, ලීඩර්ෂිප් වගේ දේවල් තියෙන කෝස් එකකට සම්බන්ධ වුණා. අවුරුද්දක් විතර ඒ දේවල් ඉගෙන ගනිද්දී මට ආසාව වැඩි වුණා. මගේ ඉගෙනගන්න වැඩවලට ඔලීවියා වියදම් කළා. මුල් අවුරුද්දෙන් පස්සේ ඒ කෝස් එකේ දී අපිට ඉගැන්නුවා, අපිට හම්බවෙන මුදල් කළමනාකරණය කරලා තමන් ගෘහ සේවිකා රැකියාවෙන් අයින් වුණු දවසක තමන්ගේ ව්‍යාපාරයක් පටන්ගන්න හැටි ගැන. ඒ වෙද්දිත් මම නංගිලා මල්ලිලාට උදව් කරන අතරේම සල්ලි ඉතුරුකරලා ඉඩමක් එහෙම අරගෙන තිබුණේ. අයිඩා එකෙන් හම්බවුණු උපදෙස් මාව තවත් දිරිමත් කළා. බිස්නස් ගැන ඉගෙන ගනිද්දී මට හිතට ආවේ රූපලාවණ්‍ය වගේ දේවල් ගැන. නැත්නම් ඇඳුම් මහලා විකිණීම වගේ ව්‍යාපාර ගැන. මම ඒ දේවල් ගැන කියද්දී ඔලීවියා මට කිව්වා ඔන්ලයින් තේ බිස්නස් එකක් පටන්ගන්න කියලා. ඔලීවියා වබේ සයිට් ඩිසයිනර් කෙනෙක්. එයාම මට තේ බිස්නස් එකට වබේ සයිට් එකක් හදලා දුන්නා. ඒ වෙද්දී මම විවාහ වෙලා හිටියේ. මගේ මහත්තයා ජයවීරත් මට ගොඩක් උදව් කළා. රොෂාන් මාව දැනගත්තේ පල්ලියේදී. එයා මගේ කතාව දැනගෙන හිටපු නිසා මාව දිරිමත් කළා. මම ලංකාවෙන් තේ ගෙන්නලා දෙන්න පටන් ගත්තා. හර්බල් තේ වගේ දේවල්වලට ලොකු ඉල්ලුමක් ලැබුණා. එක්කෙනෙක් වරක් තේ පෙට්ටි 250ක් එකපාර ගත්තා. ඒක තමයි මගේ ලොකුම අලෙවිය. බිස්නස් එක සාර්ථක වෙන බව පෙනුණු නිසා මම හිතුවා ලංකාවට එන්න. අද මට අන්තර්ජාතික ගනුදෙනුකරුවෝ 500ක් විතර ඉන්නවා. හැමෝගෙම උදව්වෙන් මගේ උත්සාහයෙන් අද මම මගේම දෙයක් ගොඩනගාගෙන ජීවත් වෙනවා. මට ගොඩක් උදව් කරපු ඔලීවියාගේ පවුල එක්ක අදටත් මම කිට්ටුයි. ඒ අය තමයි මගේ ජීවිතේ වෙනස්කර ගන්න පාර පෙන්නුවේ. මට දැන් ඕන මම වගේම අයට උදව් කරන්න.” සිනහවෙන් පිරුණු මුහුණින් ඇය දැන් කියන්නීය. අවුරුදු පහළොවක් පුරා විඳි දුක් ගැහැට අවසන අද නිලුක්ෂිකා ගෘහ සේවිකාවක වෙනුවට ව්‍යාපාරිකාවක් වී සිටින්නීය. එදා පුංචි පැල්පතේ දී ඈ ජීවිතය ගැන සිහින දැක්කා දැයි මම නොදනිමි. එහෙත් ඇය ගැහැනියක හැටියට දෙපයින් සිටගෙන ඇත්තීය. දිවියේ මූලික අභියෝග ජයගෙන ඇත්තීය. “මම මගේම සංවිධානයක් පටන් අරගන්න හැමදේම ලෑස්තිකරලා තියෙන්නේ. කාන්තාවන්ට, ඉගෙනගන්න දූ දරුවන්ට, අපි පුංචි කා‍ලේ වගේ දුක් විඳපු පවුල්වලට උදව් කරන්න. ඒ වගේම ගෘහ සේවිකාවක් විදියට ජීවිතේ පටන් අරගෙන ජීවිතේ දිනන්න උත්සාහ කරන අයටත් උදව් කරන්න මම ලැස්තියි. සිංගප්පූරුව වගේ රටක වැඩ කරන්න ලැබුණු එක මගේ වාසනාව. ඒක හරිම ආරක්ෂිත කරදර නැති රටක්. සිංගප්පූරුවේ TEDX එකේ දී UN women එකේ දී කිව්වා වගේම මගේ කතාව හැමෝටම කියන්න මම කැමැතියි.” දැන් නිලුක්ෂිකාගේ මුහුණේ කඳුළක සේයාවකදු නැත්තේය. ඇය දැන් සිතන්නේ තමන් දිනූ ජීවිතයෙන් තවත් ජීවිත දිනවනා සැටිය. තවත් දේ ඉගෙනගන්නට ඇය සිටින්නේ නොසිඳුණු පිපාසයකය. ඇය තවත් දේ උගනිනු ඇත. ජීවිතය තවත් දිනනු ඇත. එසේම නිවී ගිය පහන් ඇය නිසා තවත් දැල්වෙනු ඇත. නෙලූෂා සිල්වා | (ඡායාරූප- චතුර එස්. කොඩිකාර)

Comments

Popular Posts